Showing posts with label මාධ්‍යය. Show all posts
Showing posts with label මාධ්‍යය. Show all posts

Monday, August 14, 2017

මාධ්‍ය සංස්කෘතියේ සමාජීය බලපෑම..


සමාජය තුල මාධ්‍ය පරිහරණය බහුල වීම නිසා ඒ හා බැඳුනු සමාජ චර්යා රැසක් පහළ විය. එම ජිවන වෙනස්කම "මාධ්‍ය සංස්කෘතියක් " ලෙස හඳුනා ගනී. නව භෞතික සම්පත් සමාජය තුලට දායක වන්නා සේම නව සමාජ චර්යා රටාවන් ද ඒ තුලින් ඇතිවේ. පෙර මිනිසුන් ජනශ්‍රැතිය හා බැඳෙමින් ජිවත් වුවද මාධ්‍ය සංස්කෘතිය ඇතිවීමක් සමග චර්යත්මාක වෙනස්කම් රැසක් සිදුවුණි. 
උදා- කවි, කතා ආච්චි, සීයාගෙන් ඇසු දරුවන් අද ගුවන්විදුලිය රුපවාහිනිය, පරිඝණක, තැටි ඇසුරු කරගෙන සන්නිවේදනාත්මක ව දැනුම තොරතුරු විනෝදය ලබා ගැනීමට යොමු වීම. මෙය චර්යාත්මක වෙනස්වීමක් ඇති කිරීමට හේතුවකි. 
ආකල්පමය වෙනසක් ද මාධ්‍ය සංස්කෘතිය තුලින් ඇති වේ. මිනිසාට දැනුම පිපාසාව, තොරතුරු පිපාසාව මාධ්‍ය සමාජය හඳුන්වාදීම නිසා ඇති වුවකි. මේ අනුව ලොව වටා, රට වටා තොරතුරු එක් රැස්කරගෙන විවිධ විශයකරුණු වලින් පරිණත වී බුද්ධිමය විමසුමකින් ජීවත්වීමට මාධ්‍ය පරිශීලනය තුලින් හැකි විය. මේ තුලින් තොරතුරු ලොවක අප ජීවත්වනවා යන ආකල්පය වෙනස ජනතාව ලබා ගනී. 
මාධ්‍ය සංස්කෘතිය ඔස්සේ නව අදහස්, නව ප්‍රතිරුප ගොඩනගන්නට විය. සමාජයේ හතරවන බලයක් ලෙස මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රතිරූපයක් මිනිසාට ලබා දී ඇත. මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන රටක් මෙහෙයවන, තරමේ ප්‍රතිරුප වර්තමාන ජනමාධ්‍ය තුල පවතී. එසේම දිනපතා නැවුම් බැවින් මාධ්‍ය ප්‍රතිරූප ඉදිරිපත් වේ. 
සමාජය හකුලා දැමීමක් මාධ්‍ය තුලින් සිදු නොවේ. ගතානුගතිකත්වයෙන් මිදි විවෘත ලෝකයක් ලෙසින් සමාජ සන්නිවේදන රටාවන් වර්තමානයේ පහළ වී තිබීමත්, මාධ්‍යහි දියුණුවත් සේම සමාජයේ නවීකරණයවීමක් ද ඉන් ඇති වී තිබේ. ජාලකාර ලෝක සන්නිවේදන රටාව තුල මිනිසාට නව සන්නිවේදන රටාවන් පුරුදු කර ඇත. අන්තර්ජාලය හා සැරිසරමින් ර්- මේල් යැවීම, මුහුණු පොත තුලින් අන්තර්ජාතික මහජන සම්බන්ධතා පවත්වා ගැනීම, ස්කයිප් භාවිතාව ආදී සමාජ නවීකරණ මාධ්‍ය රටාවන් සමග මිනිසා සන්නිවේදන කටයුතු කිරීමට පුරුදු වුයේ මාධ්‍ය සංස්කෘතිය නිසා ඇති වූ "සමාජ නවීකරණ" බලපෑම් නිසාය.  

Saturday, August 12, 2017

මාධ්‍යට විචාරයක් අවශ්‍යයද????


මාධ්‍ය විචාරය යන්න සමාජයක් තුල සමාජීය අවශ්‍යතා මත නිර්මාණය වන්නකි. මාධ්‍ය ග්‍රහණය කරගන්නා සාමාන්‍ය ජනතාවට එය විනිවිද දැක්වීමට ඇති හැකියාව අවම වන නිසා මාධ්‍ය විචාරයක සහය අවශ්‍ය වේ. මෙහිදී ඕනෑම මාධ්‍යයකට පවතින්නා වූ සාක්ෂරතාවන් මාධ්‍ය විචාරකයින් විසින් සමාජයේ පුරවැසියා පවරා දීමට සිදු වේ. සංජානනය ඉහල මට්ටමකට පවත්වා ගැනීමට මාධ්‍ය විචාරකයින්ගේ විචාරයන් ග්‍රාහකයාට අත්‍යවශය වේ. බොහෝ සන්නිවේදන මාධ්‍යන්හි සන්නිවේදනය සංකීරණය. එහි මතුපිට අර්ථයට අමතරව යටි අර්ථයක් ද ගැබ් ව ඇත. එයින් ග්‍රාහකයා වෙත සෘජු පණිවුඩයක් මෙන්ම වක්‍රකාර පණිවුඩයක් ද ගෙන එයි. බොහෝ අවස්ථාවල දී මාධ්‍ය සංදේශයන්හි යටි පෙළ ග්‍රාහකයා හඳුනා නොගනී. ඒ සඳහා ග්‍රහකයට මාධ්‍ය විචාරය උපකාර කරගත හැකිය. 
මෙහිදී විචාරකයා සමාජයේ අවශ්‍යතාවන් පෙරදැරි කරගෙන මාධ්‍ය විචාරයට මැදිහත් වීම නිසා ජනමාධ්‍ය පෝෂණයට එය ඉවහල් වේ. එනම් මාධ්‍ය විචාරය මගින් මාධ්‍යයන් විවරණය වන නිසා මාධ්‍ය නිර්මාණකරුවන්ට තම නිර්මාණ පුළුල් ලෙස විමර්ශනය කිරීමට හැකි වේ. එමගින් මාධ්‍ය විචාරකයා ග්‍රාහකයාගේ ශක්තිය ඉහල නංවයි. එමගින් ග්‍රාහකයා හා මාධ්‍ය අතර සිදුවන සන්නිවේදනය වඩාත් ඉහල මට්ටමකට ගෙන යයි. මාධ්‍ය විචාරකයා මාධ්‍ය ක්‍රියාවලිය වක්‍ර ලෙස මෙහෙයවන්නෙකි. මෙහිදී නිර්මාණකරුවන්ට මාධ්‍ය සංදේශ සකසන්නට වෘත්තීය මට්ටමෙන් ප්‍රතිපොෂණයක් ලබා දෙමින් බලපෑම් සිදු කිරීම මාධ්‍ය විචාරයෙන් සිදු වේ. එමෙන්ම නව නිර්මාණ බිහි කිරීමට තම චින්තනය මෙහෙයවීමට මාධ්‍ය විචාරකයා විසින් නිර්මාණකරුවන්ට මග පෙන්වයි. එසේම මාධ්‍ය ක්‍රියාකාරිත්වය අගයන්නට හා ප්‍රතිපත්ති සම්පාදනයන් සඳහා ද මින් මග පෙන්වයි. රජය මෙන්ම විවිධ ආයතන ද මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කරයි. 

මාධ්‍ය දැන්වීම්කරණයේ සමාජීය බලපෑම


සන්නිවේදනය සඳහා භාවිත වන මාධ්‍යන් තුල සමාජයේ විවිධ වූ දැන්වීම් ප්‍රකාශ වේ. දැන්වීම්කරණය තුලින් සන්නිවේදනය සිදුවන අතර ම සමාජය සඳහා විවිධ බලපෑම් ද එල්ල කරනු ලබයි. විවිධ මාධ්‍ය දැන්වීම් මගින් නව ජිවන පුරුදු ඇති කිරීමට ද පොළඹවනු ලබන අතර, නව ජිවන රටාවන් හඳුනා ගැනීමට ද දැන්වීම් මගින් පෙළඹවීමක් සිදු කෙරේ. ආහාර ගැනීමෙන් පසුව වතුර වෙනුවට සිසිල් බීම හුරු කිරීම, බීම වර්ගයක් නොමැති නම් ආහාර එපා යැයි උද්ඝෝෂණය කිරීම ආදී වූ දේ වේ. එසේම සමාජීය චර්යාවන් වෙනස් කිරීමටද මෙම මාධ්‍ය දැන්වීම් බලපානු ඇත. විවිධ විලාසිතා  අනුගමනය කිරීම, කතාබහ කරන ආකාරය, නව වචන සමාජයට හඳුන්වා දීම ආදිය මෙමගින් සිදු කෙරේ.
මාධ්‍යයන් තුළ දැන්වීම් භාවිත කරනු ලබන්නේ භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම සඳහාය. මෙහිදී එකම ප්‍රභේදයේ භාණ්ඩ කීපයක් පවතින විට ඒවා අතර තරගයක් පවතී. නුතනයේ බොහෝ පුද්ගලයින් අවිවේකි ජිවිත ගත කරන හෙයින් නිවසේ දී ආහාර සකස් කර කර ගැනීම වෙනුවට ක්ෂණික ආහාර සඳහා යොමු වීම, ආහාර සඳහා විවිධ ස්ථාන වෙත යාම ආදිය සිදු කරයි. මේවා නව ජිවන රටාවන් වේ. දැන්වීම්කරණය තුලින් ඉෂ්ට / අනිෂ්ට බලපෑම් ද ඇති වේ. සමහර අවස්ථාවල දී දරුවන්ට ආදර්ශමත් නොවන දැන්වීම් ද ප්‍රචාරණය වේ.
එසේම සමහර වෙළඳ දැන්වීම් මගින් අනවශ්‍ය පෙළඹවීම් ඇති කිරීම ද සිදු කරයි. විවිධ මස් වර්ග මිලදී ගැනීමට, සොසේන්ජස් මිලදී ගැනීමට, විවිධ වූ රක්ෂණ සමාගම් සඳහා වන දැන්වීම් මගින් ද මෙකි පෙළඹවීම් කරනු ලබයි. භාණ්ඩ හා සේවා ප්‍රචලිත කිරීම අරමුණු කරගත් දැන්වීම් මගින් සමාජයට එම පණිවුඩය දෙනු ලබන්නේ තම භාණ්ඩය හෝ සේවාව කෙසේ හෝ ලබා ගන්නා ලෙස පෙන්වා දෙයි. එසේම සමාජය විසින් පිළිගනු ලබන යම් යම් දේ වෙනස් කිරීම සඳහා දැන්වීම් උපයෝගී කර ගනු ලබයි. සංස්කෘතික අංග නවීකරණය කිරීම,විවිධ සිරිත් විරිත් ආදිය වෙනස් කිරීම මින් සිදු වේ. බොහෝවිට දැන්වීම් මගින් ඉලක්ක කරන්නේ ළමා පරපුරය.
විවිධ බිස්කට් ආදිය මගින් ළමා ආකල්ප වෙනස් කිරීමට පොළඹවනු ලැබේ. යම් බිස්කට් එකක් අනුභව කිරීම තුලින් මොලය වර්ධනය වී තැනට සුදුසු ආකාරයට ක්‍රියා කිරීමට ඥානය ලැබෙන බව ප්‍රකාශ කිරීම තුලින් ළමුන් එම බිස්කට් මිලදී ගැනීම සඳහා පෙළඹේ. ඇතැම් දැන්වීමක වැඩිහිටියන් යොදා ගනිමින් ආහාර සඳහා අධික ආශාවක් ඇති කිරීම වැනි වෙළඳ ප්‍රචාරණ ද ඉදිරිපත් කරයි. කෑම පිගාන දුටු විගසින් නැටුමක් නටා එය අගය කරන වැඩිහිටියන් එම ආහාරය කිසි කලෙක තමන් අනුභව නොකළ ආකාරයට රඟ දක්වයි. එය සමාජයට සහ දරුවන්ට අයහපත් ආදර්ශයක් සැපයේ. එසේම තවත් දැන්වීම් මගින් සමාජය තුල හොද ආකල්ප ඇති කිරීමට ද උත්සහ ගනු ලබයි. සිරිත් විරිත් සාරධර්ම හුරු කිරීම, අපේකම ජනයා තුල ගොඩනැංවීම ආදිය මින් සිදු කෙරේ. වැඩිහිටියන්ට ගරු කිරීම, අන් අයට උදව් කිරීම වැනි ගුණාංග ලංකාව වැනි රටවල පවතින බව සමහර වෙළඳ දැන්වීම්වලින් පෙන්වයි. මෙම අදහස් තුලින් තම භාණ්ඩය ප්‍රචාරණය කරවා ගැනීමත් සමග ම සමාජයට පණිවුඩයක් ඉදිරිපත් කරනු ලබයි. 


Saturday, June 10, 2017

ජනමාධ්‍යයේ සමාජීය බලපෑම


වර්තමාන සමාජයේ කාර්මීකරණයට ලක් වීමත් සමග තාක්ෂණයේ පවතින දියුණුව නිසා ජනමාධ්‍යයේ වර්ධනය වේගවත්ව සිදු වේ. පුවත්පත, රූපවහිනිය හා ගුවන්විදුලිය යන ජනමාධ්‍යයන් වර්තමාන සමාජයේ ග්‍රාහකයාගේ අත්‍යවශ්‍යය සන්නිවේදනය අංගයන් බවට පත් වී තිබේ. සමස්තයක් වශයෙන් ගත් විට මාධ්‍ය ආයතන හිමිකම එහි ප්‍රතිපත්ති කෙරෙහි සෘජුවම බලපෑමක් සිදු කරනු ලැබේ. මාධ්‍ය හිමිකම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ලෙස
වර්ගීකරණයට ලක් කල හැකිය. ජනමාධ්‍ය විසින් සමාජයට සිදු කරනු ලබන බලපෑම ප්‍රබලය. මාධ්‍ය ආයතනයක හිමිකාරිත්වය නිරූපණය වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තුලිනි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රතිපත්ති හා තීරණ මාධ්‍ය ආයතනය තුල ක්‍රියාත්මක වේ. එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යවේදීන් විසිනි. මාධ්‍යවේදියා තමා සේවය කරන මාධ්‍ය ආයතනය තුලදී බොහෝ විට අන්ධයකු, ගොළුවකු ලෙස ක්‍රියාත්මක වීමට සිදු වන්නේ හිමිකාරිත්වයේ බලපෑම හේතු වන නිසාය. මාධ්‍යවේදියාගේ ඇස්, කන් හා කට වසා දමන හිමිකරුවන් තම ප්‍රතිපත්තින් නිර්මාණශීලි ලෙස ග්‍රාහකයා වෙත ගෙන යාම සඳහා මාධ්‍යවේදීන් යොදා ගනී. හිමිකරුවන් සතු නිර්මාණශීලි නොවන ප්‍රතිපත්තීන් නිර්මාණශීලි බවට පත් කිරීමට මාධ්‍යකරුවන් යොදා ගනු ලැබේ. මාධ්‍යවේදීන් ප්‍රධන වශයෙන්,
  • ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන්
  • නිදහස් මාධ්‍යවේදීන් ලෙස වර්ගීකරණය කල හැකිය.

නිදහස් මාධ්‍යවේදීන් ලෙස පුරවැසි මාධ්‍යකරුවන්ද ක්‍රියාත්මක වේ. ආයතනය තුල සේවය කරනු ලබන මාසිකව වැටුපක් ලබන මාධ්‍යවේදීන් මාණ්ඩලික මාධ්‍යවේදීන් ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමාගේ සේවය අනුව දීමනාවක් ලබා ගනු ලැබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කලක් සේවය කිරීමෙන් පසු මාණ්ඩලික මාධ්‍යවේදියකු බවට පත්විය හැකිය.

හිමිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති සඳහා ව්‍යාපාරික ප්‍රජාව, දේශපාලඥයින් හා අනුග්‍රාහක ආයතන බලපෑම් කරනු ලැබේ. එකී බලපෑමට යටත්ව මාධ්‍යවේදියා තම නිර්මාණශිලිත්වය යොදා ගෙන ප්‍රතිපත්ති සකස් කරනු ලැබේ. තමා සකස් කරන ලද ප්‍රතිපත්ති හා තීරණ ආශ්‍රයෙන් සකස් කරන ලද සංදේශය මගින් ග්‍රාහකයාට බලපෑමක් සිදු වේ. එය යහපත් මෙන්ම අයහපත් වුවක් විය හැකිය.

තම සංස්කෘතියේ පවතින සාරධර්ම පිරිහෙන ලෙස සංදේශ නිර්මාණය කිරීම නිසා ග්‍රාහකයාට සිදු වන්නේ අයහපත් වූ බලපෑමකි. එකී යහපත් හෝ අයහපත්  බලපෑම අවබෝධ කර ගැනීමට හෙවත් ජනමාධ්‍ය මගින් සමාජයට සිදුවන බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ග්‍රාහකයාට මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්ය. 

Tuesday, May 23, 2017

සාර්ථක මහජන සම්බන්ධතාවකට සන්නිවේදනය අවශ්‍යයද??


මහජන සම්බන්ධතාව නව ක්ෂේත්‍රයක් ලෙස පෙනුනද, එහි කාර්යයන් හා භාවිතය සම්ප්‍රධායික සමාජය තුල තිබුණ බව පැහැදිලි වේ. පෙරදිග රටවල ජන ජීවිතය තුල පැහැදිලිවම මහජන සම්බන්ධතාව හඳුනා ගත හැකිය. අතීත සමාජයේ විවිධ වූ සංධිස්ථාන විමසා බැලු විට පෙනී යන්නේ මහජන සම්බන්ධතාවේ ඓතිහාසික පසුබිම වේ. මහජනයා යනු ජනතාව වන අතර මහජන සම්බන්ධතා කාර්යේදී මහජනයා යනු ඉලක්ක ගත පිරිසක් ලෙසට හඳුනා ගත හැකිය. ඕනෑම ආයතනයක් සංවිධානයක් දෙස අවධානය යොමු කළ විට එහි බාහිර හා අභ්‍යන්තර වශයෙන් මහජන කොටස් හඳුනා ගත හැකිය. එනම්, එම සංවිධානයේ,
සේවක පිරිස
ආයෝජකයින්
බෙදාහරින්නන්
උපදේශකයින්
පාරිභෝගිකයින්
ආයෝජකයින්
යන ආදී වශයෙනි. වර්තමානය වන විට මහජන සම්බන්ධතාව සමාජය තුල ක්‍රියාත්මක වන අතර අතීතයට වඩා වැඩි වශයෙන් මිනිසුන් අතර සාකච්චාවට ලක් වේ. මජජන සම්බන්ධතාවේ සාර්ථකත්වයට හේතු වන්නේ මනා සන්නිවේදනයයි. සන්නිවේදනයෙන් තොර වූ මජජන සම්බන්ධතාවන් මිනිසුන් අතර ගොඩ නැගීම අපහසුය.
“කවරෙක්, කුමක්,කුමන මාධ්‍යයකින්, කවරෙකුට, කවර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් කියනු ලබයි ද එය සන්නිවේදනයයි. ”
-          හැරල්ඩ් ඩි. ලස්වෙල්-
යනුවෙන් පෙන්වා දී ඇත්තේ සන්නිවේදන ක්‍රියාදාමයේ මුලිකන්ගයන්ගේ ක්‍රියාකාරිත්වයයි. මෙකි ක්‍රියාකාරිත්වය ද මහජන සම්බන්ධතාවය සඳහා අවශ්‍ය වේ. සන්නිවේදනයේදී සන්නිවේදකයා තමාට ඉදිරිපත් කිරීමට ඇති පණිවුඩය වඩා උචිත මාධ්‍ය තෝරා ගනිමින් ග්‍රහකයට ඉදිරිපත් කිරීම කල යුතුය. අතීතයේදී අවමගුලකදී, මංගල අවස්ථාවකදී සියලු දෙනා එක්වීම, ගෙට ගෙවදිමකදී ආදියේදී බොහෝ විට මහජන සම්බන්ධතා ලක්ෂණ හඳුනා ගත හැකිය. වානිජකරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුලද නව අවශ්‍යතා සඳහා මහජන සම්බන්ධතා වැඩි වශයෙන් භාවිත කෙරේ. බොහෝ සංවිධාන හා පුද්ගලයින්ට මහජන සම්බන්ධතාව අවශ්‍යය වන්නේ,
තම පැවැත්මට
කිර්ති නාමය වර්ධනයට
ජනප්‍රියත්වයට
වෙළඳ නාමය පාරිභෝගිකයා තුල ස්ථාපිත කිරීම යන ආදී වූ කරුණු සඳහාය.

වාණිජමය හෝ වාණිජමය නොවන කුමන සංවිධානයකට වුවද සිය පැවැත්ම සඳහා මහජන සම්බන්ධතාව අවශ්‍යය වේ. මහජන සම්බන්ධතාවේ මුලික අරමුණක් සේ දැකිය හැක්කේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ යථාර්තයක් කිසියම් පිරිසක් වෙත පිළිගැනීමක් වේ. එහිදී වඩා  වැදගත් වන්නේ එය ග්‍රහකයට වටහා ගත හා ආකර්ශනය කර ගත හැකි අයුරින් සිදු කිරීමයි. ඒ සඳහා මහජන සම්බන්ධතා කාර්යේදී අත්‍යවශ්‍යය සාධකයක් වන්නේද සන්නිවේදන ක්‍රියාදාමයයි. ගෘහයකට, ආගමික මධ්‍යස්ථානයකට, පාසලකට හෝ ආරෝග්‍යශාලාවකට වුවද ඒවායේ පැවැත්මට එයට සම්බන්ධ මහජනයා අවශ්‍යය වේ. මහජනයා හා එම ආයතනයන්හි පැවැත්ම හා සම්බන්ධ රඳා පවතින්නේ සන්නිවේදනය පදනම් කර ගෙනය.
“මහජන සම්බන්ධතාව යනු කිසියම් සංවිධානයක් සහ එයට අදාල මජනතාව අතර අනොන්‍යය අවබෝධය ස්ථාපිත කර පවත්වා ගෙන යාම සඳහා සිතා මතා සැලසුම් සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයත්නයකි. ”
                                    -බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනය-
මහජන සම්බන්ධතා කාර්යේදී ජනතාව හා ආයතන අතර අනොන්‍ය අවබෝධය ස්ථාපිත කර ගෙන යාම වැදගත් වේ. තවද ඒ සඳහා සැලසුම් සහගතව, ඉවසීමෙන් යුතුව යොදා ගන්නා ක්‍රමවේදයේ පදනම වන්නේ සන්නිවේදනයයි. 1920 සිට 1950 දක්වා වූ කාලය තුල මහජන සම්බන්ධතාව යන විෂය ක්ෂේත්‍රයේ වර්ධනය සිදු විය. බොහෝවිට මහජන සම්බන්ධතාව උපක්‍රමශිලිව භාවිත කරමින් ආයතනයක් සතු දැක්ම,කාර්යලක්ෂය, ඉලක්ක ලගා කර ගනු ලැබේ. මහජන සම්බන්ධතාවේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලාභයයි. ඕනෑම ආයතනයක් මානවයා ගෙන් සැදුම් ලද්දක් වන අතර යහපත් මානව සම්බන්ධතා පැවැත්මට අත්‍යවශ්‍යය වේ. විවිධ වූ සංවේදීතාවන් ගෙන් යුතු වන මිනිසා අවබෝධ කර ගනිමින් ආයතනයේ යහපැවැත්ම හා ආයතනයට වැඩදායක වන පරිදි හැඩ ගැස්වීම මහජන සම්බන්ධතාවේදී සිදු වේ. නිරතුරුවම ග්‍රාහකයාගේ ස්වභාවය වටහා ගැනීම මගින් ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන මහජන පිරිසක් නිර්මාණය කර ගත හැකිය. ධනාත්මක ආකල්ප ඇති කොට සෘණාත්මක ආකල්ප බැහැර කරමින් ආයතනික මුලික අරමුණු ඉටු කර ගත හැකි පරිදි ක්‍රියාකාරකම්වල යෙදීම මහජන සම්බන්ධතාවේ අපේක්ෂාවයි.
මහජන සම්බන්ධතාව මගින් සිදු කෙරෙන තවත් ප්‍රධාන කාර්යක් වන්නේ ආයතනික හෝ පුද්ගල ප්‍රතිරූපය කළමනාකරණය කිරීමයි. ප්‍රතිරූපය සකස් වීමට වැදගත් වන්නේ සංජානනය හෙවත් දැනෙන ආකාරය සකස් වීමයි. ඒ මත ප්‍රතිරූපය සකස් වේ. තොරතුරු මගින් දැනුවත් එන මහජනයා තුල මහජන මතයක් හට ගනී. එකී මහජන මතය පිලිබඳ සංජානනය වන ආකාරය අනුව පුද්ගල ප්‍රතිරූපය සකස් වේ. මනා සන්නිවේදනය සිදු කරනු ලබන සන්නිවේදකයා සාර්ථක මහජන සම්බන්ධතා නිලධාරියකු වේ. තමා අදහස් කරනු ලබන දේ හා ඉන් ඉටු කර ගැනීමට යන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සන්නිවේදනය යොදා ගනී. සාර්ථක මහජන සම්බන්ධතාවක් උදෙසා අවශ්‍යය වන්නේ වාචික සන්නිවේදනය පමණක් නොව අවාචික සන්නිවේදනය ද ඒ උදෙසා වැදගත් වේ. මහජන සම්බන්ධතා කුසලතා අතර,
නිරවුල් වාචික සන්නිවේදනය
බාහිර හැසිරීම
ඇඳුම් පැලඳුම්
ආයතනයේ බාහිර ප්‍රතිරූපය
යන ආදී අංගයන් වැදගත් වේ. මහජන සම්බන්ධතාවය මුල්‍යය වටිනාකම ඉක්මවා යන්නකි. එය දැන්විම්කරණයට වඩා වෙනස් වේ. මානවීය තත්වයන් ආරෝපණය කරමින් මුදල් පිළිබඳව සැලකිලිමත් වීමෙන් තොරව මහජන සම්බන්ධතාව සිදු කෙරේ. මහජන සම්බන්ධතා වැඩසටහන් මගින් අපේක්ෂා කරනු ලබන්නේ මහජනයා ආකර්ෂණය කර ගැනීමයි. උපක්‍රමශීලි වීම මෙන්ම තොරතුරු සන්නිවේදනයේදී පැහැදිලි හාඅ නිරවුල් වීම වැදගත්ය. බොහෝ ආයතන තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා ස්වභාවික විපත් අවස්ථාවලදී මහජන සම්බන්ධතා වැඩසටහන් දියත් කරමින් මහජනයා සමග සන්නිවේදනය සිදු කරනු ලැබේ. එක් අවස්ථාවකදී, සන්නිවේදනය භාවිත කරමින් විශාල ජන සංඛ්‍යාවක් ප්‍රලෝහණය කිරීම සඳහා වන්නා වූ බහු ජන මනෝ විද්‍යාව මහජන සම්බන්ධතාව වේ. ඇරිස්ටෝටල් දැක්වූ පරිදි, “මිනිසා යනු සමාජීය ජිවියකි” යන්න නිසා අවශ්‍යතා සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා අවශ්‍යය වන්නේ සන්නිවේදයනයයි. සන්නිවේදනයෙන් තොරව මහජන සම්බන්ධතාව පැවැත්මක් නොමැත. ඒ අනුව මහජන සම්බන්ධතාවේ පදනම ශක්තිමත් කරන ප්‍රධන පුරුක වන්නේ සාර සන්නිවේදනයයි.



ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...