Tuesday, May 30, 2017

කෑමට පෙර දැනගන්න....


අපේ රටේ දුගී පැල්පතේ සිට මහා මන්දිරය දක්වා සෑම නිවහනක්ම බොහෝ දුරට එකම ආකාරයට පිළියෙළ කරන ආහාරය බත්ය. එය ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රධන ආහාරය වනවා පමණක් නොව, ලෝක ජනතාවගෙන් කොටි සියයකටත් වඩා කුසගින්න නිවාගන්නා ප්‍රධනතම ආහාරය වේ. එරිසා සැටවා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තෘණ පවුලට අයත් ගොයම් ගසේ අස්වැන්නෙන් පිළියෙළ කර ගන්නා බත අද ආසියාවේ ප්‍රධානතම ධාන්‍ය ආහාරයද වේ. අප බත් දෙන ගොයම් ගස මිනිසා විසින් වගා කිරීමට හුරු වූ පැරණිතම ගසක් ලෙස සැලකේ.
වී අපේ අසල්වාසී රටවන ඉන්දියාවෙන් ලොවට උරුම වූ දායාදයක් ලෙස පිළිගැනේ. 1970 වසරේදී පලකරන ලද පුරාවිද්‍යාත්මක වර්තාවක දැක්වෙන අන්දමට ක්‍රි.පූ.1000- 800 අතර කාලයේදී ඉන්දියාවේ ප්‍රථමයෙන් වී වගා කර ඇත. ඈත අතීතයේ සිටම ඉන්දියාවේ වී හැඳින්වුයේ ධාන්‍ය නමිනි. එහි අර්ථය මිනිස් වර්ගයා ආරක්ෂා කරන්නා යන්නයි. පෙරදිග සෑම රටකම පහේ ආගමික උත්සවවලදී මෙන්ම විවෘත මංගලය වැනි විශේෂ අවස්ථාවලදීද හාල්වලට විශේෂ ස්ථානයක් හිමි වේ. ඉන්දියාවට පසුව වී වගා කළ පැරණිතම රට ලෙස සලකන්නේ චීනයයි. පැරණි චීනයේ විශේෂ අයිතිවාසිකම් හිමිවුයේ අධිරාජ්‍යයාට පමණකි. එසේම ගොයම් කැපීමද රජු විසින් කළ යුතු වැදගත් කාර්යක් විය.
පැරණි ජපානයේ බත් හැඳින්වුයේ “මිෂුමොනෝ කුමි” නමිනි. ජපානයේ වැසියන් උදේ දිවා සහ දිවා සහ රාත්‍රී ආහාරය ලෙස ගනු ලබන්නේ බත්ය. උදැසන බත “ගොහාන්” ලෙසද දවල් බත “හිරිගොහාන්” ලෙසද රාත්‍රී බත “සොරුගොහාන්” ලෙසද ජපන් ජාතිකයෝ හඳුන්වති. වී වගාව ඉන්දියාවේ සිට පර්සියාව, මැදපෙරදිග, අප්‍රිකාව,යුරෝපය සහ ඇමරිකාව දක්වා පැතිර ගියේය. මුලින්ම නැගෙනහිර අප්‍රිකාව ඉන්දියාවෙන් හඳුනා ගත් වී, අතීතයේ මුස්ලිම් වෙළඳන් මගින් ස්පාඤ්ඤයටත් ඉතාලියටත් පැතිර ගියේය. යුරෝපයට වී හඳුන්වා දුන්නේ තුර්කි ජාතිකයන්ය. අද ලෝකයේ වී නිෂ්පාදනය කරනු ලබන ප්‍රධන රටවල් වන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ බුරුමයයි. වී ගොවිතැන් කරන ජාවා දුපතට එම නම ලැබී ඇත්තේද වී නිසාය. ජාවා යන්නෙහි අර්ථය “වී දුපත” යන්නයි.
ඇමරිකාවේ වී වගාව පැතිරීම පිළිබඳව අපුරු කතා පුවතක් ඇත. 17 වන සියවසේදී මැඩගස්කරයේ නැවක් කුණාටුවකට හසුවී දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් ජනපදයට ගොඩ බැස්සේය. නැවේ කපිතාන්වරයා තමන්ට උදව් උපකාර කල චාල්ස්ටන් වාසීන්ට කළගුණ දැක්වීම සඳහා පිරිනමන ලද්දේ වී ඇට ටිකකි. මේ වී ඇට වික මගින් ඇමරිකාව පුරාම වී ව්‍යාප්ත විය.

ගොයම් ගස ලංකාවේ බෝ කලේ ආර්යයෝ ලෙස සැලකේ. කෘෂි රටාවකට හුරුපුරුදු වී ශ්‍රීලංකාවට පැමිණි ආර්යයෝ ලංකාව තුල ඒ කෘෂි රටාව බිහි කළහ. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ගංගා අසල ගොඩනගා ප්‍රධාන රැකියාව ලෙස වී ගොවිතැන කරන ලදී. අපේ ප්‍රධාන ආහාරය බත බවට පත් විය. දැනට ලෝකයේ වී රාත්තල් 200,000,000,000 ක් පමණ නිෂ්පාදනය කරන බව කියනු ලැබේ. ඒ ඒ රටවල දේශගුණය පසේ ස්වභාවය හා සංස්කෘතිය අනුව වගා කෙරෙන මුහුණ හා ස්වභාවික වී වර්ගයන් 200 ක් පමණ ඇතැයි සැලකේ. බතේ ගුණාගුණ සැලකීමේදී නිවුඩ්ඩ සහිත සහල් බත් පිසීම සඳහා යොදා ගැනීම පෝෂ්‍යදායී වේ. නිවුඩ්ඩට යටින් ඇති ඇලිසොරොන් තට්ටුව සහල් ඇටයේ වඩාත් පෝෂ්‍යදායී කොටස වේ. සහල් ඇටයේ 75% ක් පමණ කොටසක් පිෂ්ටය අඩංගු වන අතර සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් කැලරි 385 ක් පමණ නිපදවා ගත හැකි බව වෛද්‍ය මතයයි. සහල්වලින් නිපදවන අමුද්‍රවයන් ලෙසට මැලියම්, පිටි, සිනි, හා වයින් ආදිය ගැනේ. ජපානයේ මෙම වයින් හඳුන්වන්නේ “සකේ” යන නමිනි.


Sunday, May 28, 2017

කවදා පායත්ද?




කවදා පායත්ද? අප දිනිසුරානෝ
රණ බිමකට සරිලන සෙනෙවියානෝ
මුඩු බිමකට සරිලන ජල කදානෝ
සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ

කවදා පායත් ද ? අප පුන් සඳානෝ
පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ
නිදුකින් ඉන්න මග පෙන්වන වෙදානෝ
මුසා බසින් අප නොපෙලන රජාණෝ

කවදා එත්ද? අපගේ එක් නෙතානෝ
ගිමනට හෙවන දෙන තුහුනුග තුරානෝ
අප සම බිමක සඟවන සොහොයුරානෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ....//

පද රචනය - සුනිල් ආරියරත්න
ගායනය    - නන්දා මාලනී
සංගීත පටය - පවන


මිනිසුන්ට තම ජිවිතයේ බලාපොරොත්තු හා ප්‍රර්ථනා බොහොමයක් තිබේ. බලාපොරොත්තු වෙනුවෙන්, ඒවා ජිවත් කිරීමට මිනිසුන් ප්‍රර්ථනා සිදු කරනු ලැබේ. මන්ද මිනිසුන්ව ජිවත් කරවන්නට ශක්තියක් වන්නේ බලාපොරොත්තු හේතුවන නිසාය. මිනිසුන් සතු ප්‍රර්ථනාවන් බොහෝ විට පෘතග්ජන ලොව තුල ආත්මාර්ථකාමී ගොනුවට අදාල වේ. නමුත් එවන් පුහුදුන් ප්‍රර්ථනා ඉක්මවා ගිය පරාර්ථකාමී ප්‍රාර්ථනාවන් ලොව නොමැති නම් එය අසත්‍යයකි. පරාර්ථකාමී ප්‍රාර්ථනයක් සිත තුල උපදවා ගන්නට ශක්තිමත් සිතක් තිබිය යුතුය. මේ පරාර්ථකාමිත්වය තම රට, ජාතිය, පවුල හෝ ගම වෙනුවෙන් උපන් ප්‍රාර්ථනයක් වුවක් විය හැකිය. මෙහි වැදගත්කම වන්නේ මෙවන් ප්‍රාර්ථනාවකට වස්තු බීජය වන්නේ බලාපොරොත්තුවක් වන නිසාය. බලාපොරොත්තුව පෝෂණය කර එහි ප්‍රතිඵල ලබා ගන්නා තුරු එහි සප්‍රණික බව රැක ගන්නට පුද්ගලයා සතු ප්‍රර්තනාවන් ශක්තිමත් වේ. බලාපොරොත්තුව සැබෑවක් වන්නට සෙවනැල්ලක් වන ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව සාක්ෂාත් කරන මාවත තුල ඉදිරියට යෑමට මිනිසුන්ට දිරිය ශක්තිය සපයනු ලැබේ. නමුත් මිනිසුන් බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන් යන කරුණු දෙකෙන් පමණක් නොනැවතිය යුතුය. යම්කිසි බලාපොරත්තුවක් හා ඒ උදෙසා කරන ප්‍රාර්ථනාව අවංක වන්නේ නම්, එකී අවංකත්වය තුලින් අවංක කැපකිරීමක් අනිවාර්යෙන්ම සිදු වේ. එනම් අවංකත්වය මේ එකක් තුළවත් තනිව පිහිටන්නක් නොවේ.
රටක් ජාතියක් වෙනුවෙන් තම සිතෙන් අවංකව බලාපොරොත්තු දකින යහපත් මිනිසුන් රටක කාලින අවශ්‍යතාවයකි. මෙවන් ජාතියක සුභවාදී බලාපොරොත්තු උපදින හදවත් කලාකාමී, ජනප්‍රිය හදවතක් වීම හේතු කොට එම බලාපොරොත්තුවට වැඩි වටිනාකමක් අගයක් ලැබේ. සෞන්දර්යාත්මක බව හා ගිතත්මකබව එක් වූ බලාපොරොත්තුවක සංවේදී ගුණය වැඩියෙන් සහෘදයාට වැටහේ. සාමානයෙන් එවන් බලාපොරොත්තු සමස්ත සමාජයක අත්දැකීමක් බවට පත් කිරීමටත්, සමස්ත සමාජයේම බලාපොරොත්තුවක් බවට පත් කිරීමටත් කලාකරුවකු සතු කෞශල්‍යය සමත් වේ. රටකට ජාතියකට ඒ ඒ යුගානුරූපීව ඇති වන අවශ්‍යතා මත, මිනිසුන් උදෙසා බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන් නිර්මාණය කර දෙන්නටත් ඒ යුගානුරූපී අවශ්‍යතාවන් ලගා කර ගැනීම කෙරෙහි සමාජය මෙහෙයවීමටත් කලාකරුවා සතු මහගු හැකියාවක් ලෙස හඳුනා ගත හැකිය. මුළු රටක් ජාතියක් එක් අරමුණක්, එක් ඉලක්කයක් වෙනුවෙන් මෙහෙයවීමේ හැකියාව පුද්ගලයකු සතු විමත්, එය නිර්මාණශිලිත්වය තුලින් ජය ගන්නට ලැබීම වඩාත් වැදගත් වන්නකි. වර්තමානය තුල පවතින තිරසාරවත් කලාවේ හා විද්වත් කලාවේ තීරණාත්මක වෙනසක් සිදු කිරීමට මේ හැකියාව සමත් වේ. ජාතියක් අවදිකරවන බලාපොරොත්තුවේ ගීතාත්මක විග්‍රහයන් අල්පවීම යුගයේ පිරිහීමේ සලකුණක් බවට පත්ව තිබේ. ආත්මාර්ථය ඉක්මවා ගිය පරාර්ථකාමී බලාපොරොත්තු හා ප්‍රර්ථනා සමාජයට දායාද කිරීම මත කලාකරුවාගේ වටිනාකම තීව්‍ර සමත් වේ. රටකට ජාතියකට මුහුණ දෙන්නට සිදුවන අභියෝග හමුවේ සිදු විය යුතු සමාජ පෙරළියක් ගැන ඉහි පල කිරීමේ සිට එකී සමාජ පෙරළියේ ආරම්භක වෙඩි මුරය නිකුත් කිරීම දක්වාත්, සමාජ පෙරළියේ ජීවී බව පවත්වා ගැනීමත්, එය ජනග්‍රහණය වෙත ගෙනයාමේ ශක්තියක් වීමේත් සිට, විජයග්‍රහණයේ ජය ගීතය දක්වා පැතිරුණු කලාකරුවාගේ භූමිකාව විග්‍රහයට ලක්විය යුතු යුගයක් ලෙස මේ සාමය හඳුනා ගත හැකිය.
අපේ සමාජයත් රටක් ජාතියක් ලෙස පසු කරන්නට යෙදුනු අසීරු කාලවකවානු තුලදී ඉහත කී සමාජය නගාසිටුවීමේ එනම් ප්‍රාණවත් කිරීමේ කාර්ය වෙනුවෙන් පෙනී සිටි. එසේ පෙනී සිටීම නිසා වීරත්වයෙන් පිදුම්  ලැබූ ජීවමාන පුරාවෘත බවට පත් වූ කලාකරුවන් ඉතිහාසය හා වර්තමානය තුලත් හඳුනා ගත හැකිය. ජාතියකට ප්‍රාණය ලබා දීම සඳහා තම සෞන්දර්යාත්මක ගීතාත්මක පද මෙහෙයවීම අසීරු කටයුත්තකි.
එවැනි ප්‍රාණවත් නිර්මාණයකින් ජාතිය පණ ලැබීම නිර්මාණයේ පවතින ශක්තිමත් බව ලෙස මැනවින් ප්‍රකට වේ. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න” කියා කියන්නෙත්, “නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැවි යා නම්” , “එවන් සිරසක් කුමටද මට”, “ගෙලෙන් සිද එය ඉවතලනු මිස” කියා කියන්නෙත්, එතැනින් නොනැවති “හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානි” කියා පවසන්නේත් පෙර කී කලාකරුවාගේ සමාජ වගකීමේ සන්ධිස්ථානයක් ඉදිරිපත් කරමිනි. එක් අවස්ථාවකදී පවතින ක්‍රමයට අභියෝග කරන්නට හා සමාජයට කරුණු පැහැදිලි කරන්නට සිදු වේ. ඒ සියල්ලම වචන සියයක් දෙසීයක් ඇතුලත සාධාරණිකරණය කරමින් ඒ දනන්ගේ මුවින් මිමිණෙන ශ්ලෝකයක් බවට පත් වී ඇත.එය ජනයාගේ සන්තානයේ රට දැය උදෙසා ප්‍රගතිශීලි අභිලාශයක්, බලාපොරොත්තු හා ප්‍රර්තනාවන් ජනිත කරවන්නට සමත් වේ. රටක දැයක වගකීමක් දරන කලාකරුවා කොතරම් බැරෑරුම් කර්තව්‍යයක නියැලෙන්නෙක් ද කියා සිතීමත් අපහසුය. හුදෙක් ලාමක පද වැලකට තනුවක් නිමවා ගැයුමක් වෙනුවට, ඉහත කී සමාජ වගකීම උසුලා ගෙන කරන නිර්මාණයක වටිනාකම කියා නිම කල නොහැකිය. එවන් නිර්මාණ එකක් දෙකක් නොව සිය දහස් ගණනක් නිම වන්නට තරම් සිය කෞශල්‍ය යොදවන්නට වෙහෙසෙන කලාකරුවෙකු වේ නම්, ඒ සිත තුල ඇති ජාතික ආලය පිලිබඳ අතිශෝක්ති වැනුම් වැයිම අත්‍යවශ්‍යය නොවේ. කලාකරුවා සමාජයේ ප්‍රගමනය උදෙසා නිවසේ සිදුවන කුඩා සිදුවීමේ සිට රටේ නායකයාගේ පැවැත්ම දක්වාම කරනු ලබන බලපෑම් උදෙසා නිර්මාණය වූ ගීතයක් ලෙස මෙම “කවදා පායත්ද” ගීතය හඳුනා ගත හැකිය. පද මාලාව සමග බැදී ඇති ජවය හා ශක්තිය සියලු ජනයාගේ මුවග රැව් දෙන විට ජන සන්තානයේ උපදින ධෛර්ය හා ආකල්පමය විප්ලවය කලාකරුවාගේ අභිලාශය ඉදිරියට මෙහෙයවයි.
ගීතය ආරම්භ කරන්නේ අතීත ස්මෘතියක් රසික මනසේ ඇති කරමිනි. කුංකුනාවේ ස්වාමින්වහන්සේ එදා සිරභාරයට ගත් අවස්ථාවේදී කී කවිය ගීතය ආරම්භයේදීම නන්දා මාලනිය විසින් ගායනා කරනු ලබයි.
“අනේ කුඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අප තැවෙන්නේ..

රජෙකු ලැබුනොතින්
කැවුම් කිරිබත් කඤඤාන්
සාධු කාරෙන් ගිගුම් දෙන්නම්....”


රටකට රාජ්‍යයක පැවැත්මට නොසැලෙන නොබියව සිටින නායකත්වයක් තිබිය යුතුය. අනුගාමිකයන්ට මග පෙන්වනු ලබන පුර්වාදර්ශි නායකත්වය අවශ්‍යය වේ. නිර්මාණය ආරම්භ වන්නේ එකී  අවශ්‍යතාවේ හිස්තැන කියා පාමිනි. ජනතාවගේ ශෝකය, පසුතැවීමට හේතුව වන්නේ නොසැලෙන නායකත්වයේ පවතින අඩුපාඩුවයි. රටක සංවර්ධනයට අත්‍යවශ්‍යය වන්නා වූ මෙකි මග පෙන්වීම කාලින අවශ්‍යතාවකි. මෙකි ස්මරණය තුලින් වර්තමානය හා අතීතය එකට යා කරනු පෙනේ. එදා රජකුගේ අඩුව අද ද දැනෙන බව මින් විද්‍යාමානය. එය ජනතාවගේ බලාපොරොත්තුවකි. එය සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනයා එකා මෙන් ප්‍රර්ථනා කරනු ලබන්නේ ජාතික ආලය මුසු වූ හැගීමෙනි. රටකට නියමිත කලට වාසි ලැබීමටත්, කෙත්වතු සරුසාර වීමත් පවතින පාලකයා දැහැමිව රට පාලනය කල යුතුය. නොසැලෙන නායකත්වය නොමැති වීම පසුතැවීමට ප්‍රධාන හේතුව වී තිබේ.
නිර්මාණය පුරාම රටේ පවතින පිරිහී ගිය ස්වභාවය මතු කර දක්වා තිබේ. රටේ සිටින ජනයාත් තම දෑස් අඳුරෙන් වසාගෙන, අතපය නොමැති වුවන් ලෙස එක් තැන් වී සිටි. සරුසාර වූ දේශයේ භූමියට සිදු වී ඇති අපරාධයක්, ආත්මාර්ථකාමීත්වය පසක තැබූ පරාර්ථකාමී නායකත්වය අපේක්ෂාවන් නිර්මාණය තුල පසක් කරයි. නිවැරදි මග පෙන්වීමත් නොමැති රටක ජනතාව අඳුරේ සිට ආලෝකයේ සේයාවන් අපේක්ෂා කරන්නේ රටේ ප්‍රගතිය උදෙසා ශක්තිය ලබා දීමේ අපේක්ෂාවෙනි.
“කවදා පායත්ද? අප දිනිසුරානෝ
රණ බිමකට සරිලන සෙනෙවියානෝ”
අඳුරේ සිටින ජනයා ඉන් මුදවා ගැනීමට අවශ්‍යය වන්නේ සුර්යා මෙන් ආලෝකය ලබා දිය හැකි නිවැරදි මග පෙන්වීමකින් යුතු නායකත්වයකි. නමුත් එවන් වීර නායකත්වයක අඩුපාඩුව සර්ව කාලීන වුවකි. එය උදා වන තුරු ජනතාව බලාපොරොත්තු වෙනුවෙන් ප්‍රර්ථනා කරති. රණ බිමේදී ඉදිරිපත්වන ගැටලු හමුවේ නොසැලෙන වීරත්වය මතු කරන නායකත්වයක් රටකට අවශ්‍යය වේ. විවිධ බලවේග හමුවේ නොසැලෙන ශක්තියක් සතු විය යුතුය. එය උදා වෙන තුරා ජනතාව බලාපොරොත්තු වෙනුවෙන් ප්‍රර්ථනා කරති. එය උදා වන තුරු සැම යුගයකම මිනිසුන් නෙත් යොමා සිටින බව කලාකරුවා තම නිර්මාණය තුල ඉදිරිපත් කර ඇත්තේ ජනයාගේ දෑස් විවර කරමිනි.
මෙම ගීතයේ ව්‍යුහාත්මක පක්ෂය විස්තර කරන විට ද්විත්වයක් මතු කර පෙන්වයි. රජු හගවුම්කාර කය තුලින් ප්‍රෞඩත්වය, වීරත්වය, ජනයාට හිතෛෂී වීම, ධනය, බලය, පාලනය යන හැගයුම් මතු කරනු ලබයි. මෙහි අනෙක් පක්ෂය නම් තත් රට පාලනය කරන පුද්ගලයාගේ තත්වයයි. සැබෑ නායකත්වයේ ස්වභාවයත්, පවත්නා වූ රටේ ස්වභාවයත් මනා ලෙස ගලපන නිර්මාණකරුවා තම පරාර්ථකාමී වූ ජාතික අපේක්ෂාව මනාව විදහා දක්වයි. පවතින පාලන ක්‍රමයට එල්ල කරන මරු පහරක් ලෙස ගීතය විග්‍රහ කල හැකිය. පාලකයාගේ පවතින අඩුපාඩු ගීතය පුරාම විග්‍රහ කෙරේ.
“මුඩු බිමකට සරිලන ජල කදානෝ
සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ ”
“පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ”
“මුසා බසින් අප නොපෙලන රජාණෝ”
සරුසාර භූමියක් රටකට වාසනාවකි. භුමිය නිසරු වීම එකී රටේ අවශ්‍යතාව නිරුපණය වන්නකි. එකී අවශ්‍යතාව සෝදා දමා සෞභාග්‍යය උදා කරන ජල දරාවක් බඳු නායකත්වය රටේ වාසනාව ගෙන දෙයි. පවතින පාලනය හා මග පෙන්වීම යටතේ ජනතාවගේ තීරණ ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී බව, ස්වාධින බව බිඳ දමා පුද්ගල නිදහස, අයිතිය සිමා කර තිබේ.  ජනයාගේ බිඳ දමා ඇති මෙකි පෞර්ෂත්වය නැවත නගා සිටුවන පරාර්ථකාමී නායකත්වය රටකට ගෞරවයකි. රජෙකු යනුවෙන් නොබියව පැවසිය හැකි නායකත්වයක බලාපොරොත්තුව කලාකරුවා නිර්මාණය තුල සෘජුවම ගෙන හැර දක්වයි. රටක ජනතා මනාපයෙන් පත්වන පාලකයින් තම සැප ජීවිතය වෙනුවෙන් පොදු ජනයාගේ ධනය සුරාකමින් සිටි. නිර්මාණකරුවා පන්සීය පනස් ජාතක පොතේ ඇතුලත් “ඡද්දන්ත ජාතකය” සිහිපත් කරමින් අනෙකාගේ සුවය උදෙසා තම දළ දන් දුන් ඡද්දන්ත හස්තියා මෙන් පරාර්ථකාමී පාලකයකුගේ අවශ්‍යතාව සිහිපත් කරයි. පවතින පාලනය කෙරේ විරෝධාකල්පයක් මතු කර පෙන්වීම සිදු කරනු ලබන අතර මෙය එක් කාලයකට විශේෂ කර දැක්විය නොහැකි වන්නේ එදා මෙදා තුර මෙරට බිහි වූ පාලකයින් අතරින් “රජු” යන අරුත දිය හැකි සුදුසු පාලකයකු බිහි නොවූ නිසාවෙනි. එබැවින් සර්වකාලින නිර්මාණයක් වීම ද විශේෂත්වයකි. පවතින සමාජ ක්‍රමය වෙනස් කල යුතු බව ගීතය පුරාම ගැබ් වී තිබේ.

මේ රටේ මේ සමාජ ක්‍රමය තුල බලය ලබා ගන්නා කුමන පාලකයා වුවත් තමාගේ ධනය, අනන්‍යතාව තර කර ගැනීම මිස මහජන යහපත පතන්නේ ද යන්න ගැටලුවකි. එසේ නම් මේ පවතින සමාජ ක්‍රමය අතු ගා දැමිය යුතුය. ගීතයේම ගැබ් වන ආකාරයට,
“අප සම බිමක රඳවන සොහොයුරාණෝ”
යන්න කවදා සපල වේද? යන්න ගැටලුවකි. නමුත් එය බලාපොරොත්තු වේ. ධනවාදය හිස ඔසවා ගෙන දේශපාලනයට මුවා වී පොදු මහජනතාව ගොදුරු කර ගන්නා පාලක පන්තියේ කුරුරුතර භාවය මින් මනාව ඔප් නැංවේ. මින් පිඩාවට පත් වන්නෝ මහජනතාවය. ඉන් ද නිර්ධන පාන්තිකයා ලබන පීඩනයන් ඉමහත්ය. සියලු දෙනාට මනුෂ්‍යයන් වශයෙන් උපත ලැබ සමාජ ක්‍රමය නිසා විවිධ මට්ටම් වල සමාජයේ ජීවතේ වේ. නමුත් සියලුම ජනතාව එක් මට්ටමකට ගන්නා සහෝදරයකුවන් පාලකයකුගේ සංක්‍රාන්තිය ජනතා බලාපොරොත්තුවයි.
“මුසා බසින් අප නොපෙලන රජාණෝ”
ජනතා මනාපයෙන් පත්වන පාලකයා ජන සිත සුව පිණිස ක්‍රියා කල යුතුය. නිරතුරුවම සාමාන්‍යය ජනයාට මුසාබස් පවසා බොරුව නමැති පටලයෙන් වසා දමන ආකාරය රාජ්‍යය පාලනයට යෝග්‍ය නොවේ. පාලකයා නිරතුරුවම ජනතාව සමග රැදී සිටින නියෝජිතයකු විය යුතුය. බලතල, ධනය තිබු පමණින් සමාජ ක්‍රමයේ අසාමාන්‍යය වෙනස්කම්, බැඳීම් ඇති කිරීමේ මුලික සාධකය නොවිය යුතු අතර රජකු යැයි නොසිතෙන සහෝදරයකු විය යුතු බව ජනතාව බලාපොරොත්තු වන බව නිර්මාණය පුරවරම ගෙන හැර දක්වයි.
ගීතයේ අන්‍යය පාර්ශවය ගැන සාකච්චා කරන විට පෙනී යන්නේ හුදු ගීත රචකයාගේ සිතේ නිෂ්පන්න හුදු ෆැන්ටසියක් බවය. මන්ද ගීත රචකයා සිතා සිටින ආකාරයට කවදා හෝ දිනක රජෙකු පත්වන බවට බලාපොරොත්තුවක් ඇති කර ගෙන සිටි. මෙය එදා මෙදා තුර බලාපොරොත්තුවක් පමණක්ද? නමුත් එය ඉටුවන්නේ කවදාද යන්න පිලිබඳ රසිකයාට ගැටලු මතු වී ඇත. එනම් සිදු කල යුත්තේ සමාජ ක්‍රමය වෙනස් කිරීමය. නමුත් රසික සිතේ කිසියම් බලාපොරොත්තුවක් ඉතිරි කල හැකිය. ජිවත්වන සමාජයේ දෘෂ්ටිවාදාත්මක සංකල්පය පිලිබඳ කිසියම් ඉගියක් මතු කරන බැව් උක්ත ගීතය විශධ කරයි.
සමාජයේ පවතින සංවේදී රටාව මැනවින් ග්‍රහණය කරගත් ගීත රචකයා සිය ගේය කාව්‍යය සංකල්පනාව රචනා කොට ඇත. පද රචනාව හා ගායනයේ පවතින මනා ගැලපීම මත රසිකයාට තම රට ජාතිය පිලිබඳ හා පවතින සමාජ ක්‍රමය, නායකත්වය පිලිබඳ සිතුවිලි මතු කරලීමට හැකි වී තිබේ. පද රචනාවේ පවතින සමාජීය බලපෑම හේතු කොට ගෙන ගුවන්විදුලි ප්‍රචාරණයෙන් තහනම් වූ බව සුනිල් ආරියරත්නයන් අදහස් දක්වා තිබේ. මෙවැනි නිර්මාණයන් සමාජ අවශ්‍යතාවයක් වන්නේ මෙවන් කුරිරු පාලනයක් පවතින තාක් රසික හදවත් තුල රැව් දෙනු නියත නිසාවෙනි.

ගීතයේ කාව්‍යාත්මක පක්ෂය එතරම් රසය ජනිත නොවේ. අර්ථය සෘජුවම පවසනවා මිස එය ව්‍යංගාර්තය තුලින් ප්‍රකාශ කීරීමට උත්සහ ගෙන නොමැත. සෘජු ප්‍රකාශනයක ලක්ෂණ තිබේ. නමුත්  අපේක්ෂිත අර්ථය පාඨකයාට සංරක්ෂණය වේ. ගීතයේ සියලුම කොටස් එකම ආකෘතියක පිහිටා තිබේ. ගීතයේ පද මාලාවට සදාරණයක් ඉටු කර හැකි වන පරිදි හා හැගීම් උද්දීපනය වන පරිදි ගායනය හා පද මාලාව සංකලනය වී තිබේ. පසුබිම ගායනයේදී සංගීතඥයා යොදා ගෙන ඇති “ඕ....ඕ... ” ආදී ගායනය මගින් ගීතයේ පවතින සාමුහික අර්ථය ස්මතු කිරීමට හේතු වේ. සංගීතඥ මේ මනෝරම්‍යය භාවිතය නිසාවෙන් නිර්මාණය තුල පොදු බවක් රසිකයාට දැන්වීමත්, අර්ථය තව දුරටත් ස්මතු කිරීමටත්, රසිකයා තුල උද්වේගකාරී හැගීම් ඇති කිරීමටත් සමත් වී තිබේ. කාලින සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසුන් දකින බලාපොරොත්තු පිළිබඳව පරාර්ථකාමී දෘෂ්ටියක් යොමු කරන කලාකරුවකුගේ කාර්යභාරය විශිෂ්ට වන්නකි. 

Tuesday, May 23, 2017

නොසැලෙන අධිෂ්ඨානය.....


හුදකලාව ....


සාර්ථක මහජන සම්බන්ධතාවකට සන්නිවේදනය අවශ්‍යයද??


මහජන සම්බන්ධතාව නව ක්ෂේත්‍රයක් ලෙස පෙනුනද, එහි කාර්යයන් හා භාවිතය සම්ප්‍රධායික සමාජය තුල තිබුණ බව පැහැදිලි වේ. පෙරදිග රටවල ජන ජීවිතය තුල පැහැදිලිවම මහජන සම්බන්ධතාව හඳුනා ගත හැකිය. අතීත සමාජයේ විවිධ වූ සංධිස්ථාන විමසා බැලු විට පෙනී යන්නේ මහජන සම්බන්ධතාවේ ඓතිහාසික පසුබිම වේ. මහජනයා යනු ජනතාව වන අතර මහජන සම්බන්ධතා කාර්යේදී මහජනයා යනු ඉලක්ක ගත පිරිසක් ලෙසට හඳුනා ගත හැකිය. ඕනෑම ආයතනයක් සංවිධානයක් දෙස අවධානය යොමු කළ විට එහි බාහිර හා අභ්‍යන්තර වශයෙන් මහජන කොටස් හඳුනා ගත හැකිය. එනම්, එම සංවිධානයේ,
සේවක පිරිස
ආයෝජකයින්
බෙදාහරින්නන්
උපදේශකයින්
පාරිභෝගිකයින්
ආයෝජකයින්
යන ආදී වශයෙනි. වර්තමානය වන විට මහජන සම්බන්ධතාව සමාජය තුල ක්‍රියාත්මක වන අතර අතීතයට වඩා වැඩි වශයෙන් මිනිසුන් අතර සාකච්චාවට ලක් වේ. මජජන සම්බන්ධතාවේ සාර්ථකත්වයට හේතු වන්නේ මනා සන්නිවේදනයයි. සන්නිවේදනයෙන් තොර වූ මජජන සම්බන්ධතාවන් මිනිසුන් අතර ගොඩ නැගීම අපහසුය.
“කවරෙක්, කුමක්,කුමන මාධ්‍යයකින්, කවරෙකුට, කවර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් කියනු ලබයි ද එය සන්නිවේදනයයි. ”
-          හැරල්ඩ් ඩි. ලස්වෙල්-
යනුවෙන් පෙන්වා දී ඇත්තේ සන්නිවේදන ක්‍රියාදාමයේ මුලිකන්ගයන්ගේ ක්‍රියාකාරිත්වයයි. මෙකි ක්‍රියාකාරිත්වය ද මහජන සම්බන්ධතාවය සඳහා අවශ්‍ය වේ. සන්නිවේදනයේදී සන්නිවේදකයා තමාට ඉදිරිපත් කිරීමට ඇති පණිවුඩය වඩා උචිත මාධ්‍ය තෝරා ගනිමින් ග්‍රහකයට ඉදිරිපත් කිරීම කල යුතුය. අතීතයේදී අවමගුලකදී, මංගල අවස්ථාවකදී සියලු දෙනා එක්වීම, ගෙට ගෙවදිමකදී ආදියේදී බොහෝ විට මහජන සම්බන්ධතා ලක්ෂණ හඳුනා ගත හැකිය. වානිජකරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුලද නව අවශ්‍යතා සඳහා මහජන සම්බන්ධතා වැඩි වශයෙන් භාවිත කෙරේ. බොහෝ සංවිධාන හා පුද්ගලයින්ට මහජන සම්බන්ධතාව අවශ්‍යය වන්නේ,
තම පැවැත්මට
කිර්ති නාමය වර්ධනයට
ජනප්‍රියත්වයට
වෙළඳ නාමය පාරිභෝගිකයා තුල ස්ථාපිත කිරීම යන ආදී වූ කරුණු සඳහාය.

වාණිජමය හෝ වාණිජමය නොවන කුමන සංවිධානයකට වුවද සිය පැවැත්ම සඳහා මහජන සම්බන්ධතාව අවශ්‍යය වේ. මහජන සම්බන්ධතාවේ මුලික අරමුණක් සේ දැකිය හැක්කේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ යථාර්තයක් කිසියම් පිරිසක් වෙත පිළිගැනීමක් වේ. එහිදී වඩා  වැදගත් වන්නේ එය ග්‍රහකයට වටහා ගත හා ආකර්ශනය කර ගත හැකි අයුරින් සිදු කිරීමයි. ඒ සඳහා මහජන සම්බන්ධතා කාර්යේදී අත්‍යවශ්‍යය සාධකයක් වන්නේද සන්නිවේදන ක්‍රියාදාමයයි. ගෘහයකට, ආගමික මධ්‍යස්ථානයකට, පාසලකට හෝ ආරෝග්‍යශාලාවකට වුවද ඒවායේ පැවැත්මට එයට සම්බන්ධ මහජනයා අවශ්‍යය වේ. මහජනයා හා එම ආයතනයන්හි පැවැත්ම හා සම්බන්ධ රඳා පවතින්නේ සන්නිවේදනය පදනම් කර ගෙනය.
“මහජන සම්බන්ධතාව යනු කිසියම් සංවිධානයක් සහ එයට අදාල මජනතාව අතර අනොන්‍යය අවබෝධය ස්ථාපිත කර පවත්වා ගෙන යාම සඳහා සිතා මතා සැලසුම් සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයත්නයකි. ”
                                    -බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනය-
මහජන සම්බන්ධතා කාර්යේදී ජනතාව හා ආයතන අතර අනොන්‍ය අවබෝධය ස්ථාපිත කර ගෙන යාම වැදගත් වේ. තවද ඒ සඳහා සැලසුම් සහගතව, ඉවසීමෙන් යුතුව යොදා ගන්නා ක්‍රමවේදයේ පදනම වන්නේ සන්නිවේදනයයි. 1920 සිට 1950 දක්වා වූ කාලය තුල මහජන සම්බන්ධතාව යන විෂය ක්ෂේත්‍රයේ වර්ධනය සිදු විය. බොහෝවිට මහජන සම්බන්ධතාව උපක්‍රමශිලිව භාවිත කරමින් ආයතනයක් සතු දැක්ම,කාර්යලක්ෂය, ඉලක්ක ලගා කර ගනු ලැබේ. මහජන සම්බන්ධතාවේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලාභයයි. ඕනෑම ආයතනයක් මානවයා ගෙන් සැදුම් ලද්දක් වන අතර යහපත් මානව සම්බන්ධතා පැවැත්මට අත්‍යවශ්‍යය වේ. විවිධ වූ සංවේදීතාවන් ගෙන් යුතු වන මිනිසා අවබෝධ කර ගනිමින් ආයතනයේ යහපැවැත්ම හා ආයතනයට වැඩදායක වන පරිදි හැඩ ගැස්වීම මහජන සම්බන්ධතාවේදී සිදු වේ. නිරතුරුවම ග්‍රාහකයාගේ ස්වභාවය වටහා ගැනීම මගින් ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන මහජන පිරිසක් නිර්මාණය කර ගත හැකිය. ධනාත්මක ආකල්ප ඇති කොට සෘණාත්මක ආකල්ප බැහැර කරමින් ආයතනික මුලික අරමුණු ඉටු කර ගත හැකි පරිදි ක්‍රියාකාරකම්වල යෙදීම මහජන සම්බන්ධතාවේ අපේක්ෂාවයි.
මහජන සම්බන්ධතාව මගින් සිදු කෙරෙන තවත් ප්‍රධාන කාර්යක් වන්නේ ආයතනික හෝ පුද්ගල ප්‍රතිරූපය කළමනාකරණය කිරීමයි. ප්‍රතිරූපය සකස් වීමට වැදගත් වන්නේ සංජානනය හෙවත් දැනෙන ආකාරය සකස් වීමයි. ඒ මත ප්‍රතිරූපය සකස් වේ. තොරතුරු මගින් දැනුවත් එන මහජනයා තුල මහජන මතයක් හට ගනී. එකී මහජන මතය පිලිබඳ සංජානනය වන ආකාරය අනුව පුද්ගල ප්‍රතිරූපය සකස් වේ. මනා සන්නිවේදනය සිදු කරනු ලබන සන්නිවේදකයා සාර්ථක මහජන සම්බන්ධතා නිලධාරියකු වේ. තමා අදහස් කරනු ලබන දේ හා ඉන් ඉටු කර ගැනීමට යන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සන්නිවේදනය යොදා ගනී. සාර්ථක මහජන සම්බන්ධතාවක් උදෙසා අවශ්‍යය වන්නේ වාචික සන්නිවේදනය පමණක් නොව අවාචික සන්නිවේදනය ද ඒ උදෙසා වැදගත් වේ. මහජන සම්බන්ධතා කුසලතා අතර,
නිරවුල් වාචික සන්නිවේදනය
බාහිර හැසිරීම
ඇඳුම් පැලඳුම්
ආයතනයේ බාහිර ප්‍රතිරූපය
යන ආදී අංගයන් වැදගත් වේ. මහජන සම්බන්ධතාවය මුල්‍යය වටිනාකම ඉක්මවා යන්නකි. එය දැන්විම්කරණයට වඩා වෙනස් වේ. මානවීය තත්වයන් ආරෝපණය කරමින් මුදල් පිළිබඳව සැලකිලිමත් වීමෙන් තොරව මහජන සම්බන්ධතාව සිදු කෙරේ. මහජන සම්බන්ධතා වැඩසටහන් මගින් අපේක්ෂා කරනු ලබන්නේ මහජනයා ආකර්ෂණය කර ගැනීමයි. උපක්‍රමශීලි වීම මෙන්ම තොරතුරු සන්නිවේදනයේදී පැහැදිලි හාඅ නිරවුල් වීම වැදගත්ය. බොහෝ ආයතන තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා ස්වභාවික විපත් අවස්ථාවලදී මහජන සම්බන්ධතා වැඩසටහන් දියත් කරමින් මහජනයා සමග සන්නිවේදනය සිදු කරනු ලැබේ. එක් අවස්ථාවකදී, සන්නිවේදනය භාවිත කරමින් විශාල ජන සංඛ්‍යාවක් ප්‍රලෝහණය කිරීම සඳහා වන්නා වූ බහු ජන මනෝ විද්‍යාව මහජන සම්බන්ධතාව වේ. ඇරිස්ටෝටල් දැක්වූ පරිදි, “මිනිසා යනු සමාජීය ජිවියකි” යන්න නිසා අවශ්‍යතා සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා අවශ්‍යය වන්නේ සන්නිවේදයනයයි. සන්නිවේදනයෙන් තොරව මහජන සම්බන්ධතාව පැවැත්මක් නොමැත. ඒ අනුව මහජන සම්බන්ධතාවේ පදනම ශක්තිමත් කරන ප්‍රධන පුරුක වන්නේ සාර සන්නිවේදනයයි.



ලීයෙන් තැනු පෙම


රහසේ සැගවෙන වන මැද විසිතුරු ...


සංචාරක කර්මාන්තය රටේ සංවර්ධනය උදෙසා...



වර්තමානය වන විට සංචාරක කර්මාන්තය යනු ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයකි. ලොව පවතින සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය වූ රටවල් බොහොමයක් සංචාරක කර්මාන්තයේ නියැලී සිටි. විශේෂයෙන් රටකට විදේශ විනිමය හා ආදායම් උත්පාදනය කිරීමේ කර්මාන්තයක් ලෙස මෙය වර්ධනය වී තිබේ. රටකට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හා තරුණ පිරිස් සඳහා රැකියා අවස්ථා උදා කර දීමට සංචාරක ව්‍යාපාරය නිසා හැකියාව උදා වී තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ තාක්ෂණික වර්ධනය සමග සංචාරක ක්ෂේත්‍රයේ ද ශිග්‍ර වර්ධනයක් දැක ගත හැකි විය. ඈත අතීතයේ සිටම මිනිසා සංචරණයේ නිරත වී තිබෙන අතර තම සුපුරුදු පරිසරයෙන් මිදී තාවකාලික වශයෙන් වෙනත් ගමනාන්තයකට ගමන් කිරීමට මිනිසා පුරුදු වී සිටියහ. බොහෝ විට තමා ගත කළ අවිවේකි වූ ජිවන රටාව තරමක් දුරට හෝ වෙනස් කිරීමට එහි මුලික අරමුණ විය. මෙම සංචරණ ක්‍රියාවලියේ යෙදෙන පුද්ගලයා “සංචාරකයා” යනුවෙන් හඳුන්වන අතර එම පුද්ගලයා තම සුපුරුදු නවාතැනින් බැහැරව දින කීපයක් ගතකර තම නවාතැනට පැමිණේ. විනෝදය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා, ශාරීරික අවශ්‍යතා හා වාණිජ අරමුණු පරමාර්ථ මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තයේ යෙදීම මේ වන විට සිදු වේ. සංචාරක කර්මාන්තයට පොලඹවනු ලබන හේතුවක් ලෙස ආර්ථිකමය සාධක වැදගත් වේ. රටක ආදායම ඉහල තත්වයකට ලගා කර දීම හා අතිරික්ත ආදයාමක් උපයා ගැනීමේ හැකියාව මේ නිසා උදා වේ. බොහෝ සංවර්ධිත රටවල ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් ලෙස මෙම සංචාරක ව්‍යාපාරය භාවිත කරනු ලැබේ.
සංචරණය සඳහා සංචාරකයා යොමු වීමේදී ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා ඉටු කර ගැනීම මුලික අවශ්‍යතාව වේ. එම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මුල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව සංචරණය කරනු ලබන පුරවැසියාට හිමි වේ. ආහාර, නවාතැන්, ප්‍රවාහනය, ප්‍රවාහනය, සෞඛ්‍ය යන ආදී විවිධ වූ අවශ්‍යතා සපයා දීම මගින් මිනිසුන් තම ආර්ථිකය සරු කිරීමට උත්සහ ගනී. 20 වන සියවසේ දී පමණ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ලොව පුරා සිදු වූ අතර මුල් කාලීනව සංචරණයේ යෙදිය හැකි වුයේ ආර්ථික සරු රදලයන්ට පමණකි. විශේෂයෙන්ම එම කාලයේදී රෝමවරු, ග්‍රීසිය, ඊජිප්තුව වැනි රටවල වෙරළබඩ නිකේතන කරා ඇදී ආ බව ද වාර්තා වේ. කර්මිකකරණයෙන් පසු ඇති ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව සමග මිනිසුන් බොහෝ දෙනෙකු සංචාරක කටයුතුවල නියලීමට යොමු විය. දුම්රිය සේවාවන් හා දුම් නැව් සේවා ආරම්භ වීමත් සමග අභ්‍යන්තර හා බාහිර වෙළදාම දියුණුව සමග සංචාරක ව්‍යාපාරයට ද නව පණක් ලැබිණි. සංචාරක ව්‍යාපාරයේ වර්ණවත් වූ යුගය එළඹෙන්නේ විසිවන සියවසේ 1970 දශකයේ උදාවත් සමගය. මේ වන විට සාමාන්‍ය පවුලකට අපහසුවක් නොමැතිව මිලට ගත හැකි ලාභදායි චාරිකා කට්ටල(packaged tour) ප්‍රධාන පෙලේ චාරිකා මෙහෙයුම්කරුවන් විසින් අලෙවි කිරීම ආරම්භ විය. බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන විට ලංකාව යහපත් විදෙස් විනිමය සංචිතයක් ගොඩ නැගුණ තේ, රබර්, පොල් අපනයන ආර්ථිකයක් මත රැඳුනු යහපත් ආර්ථික පසුබිමක් විය. නමුත් 1960 වන විට එම තත්වය වෙනස් මගකට ගෙන එමින් ආර්ථික වශයෙන් පහල මට්ටමකට පත් වී තිබේ. විදේශ සම්පත්වල ක්ෂයවිමත් හා ඇය වැය ශේෂය පිලිබඳ ගැටලුකාරී තත්වයන් ඇති විය. තවද නිදහසින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය සමග පාසලෙන් පිටවන හා විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණ පිරිසගේ විරැකියාව ඉහළ යාමේ ගැටලුවට මුහුණ දීමට රජයට සිදු විය. මෙතෙක් කල් පුර්ණ විශ්වාසය තබා තිබු තේ, රබර්, පොල් වැනි අපනයන බෝගවල මිල ගණන් අඩු වීම හා ලෝක වෙළඳපොලේ තරගකාරී පරිසරය තුල විදේශ විනිමය ලබා ගැනීමේ ක්‍රමයන් රජයට අවශ්‍ය විය. ඒ උදෙසා වඩාත් උචිතම ක්‍රමය වන්නේ සංචාරක ව්‍යාපාරය වේ.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේ ගමන් මාර්ගයේ මුලික පියවරක් ලෙසට සංචාරක ව්‍යාපාරය හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව තුල සංචාරක ව්‍යාපාරය විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා ලංකා සංචාරක මණ්ඩලය 1966 මැයි මස 01 සිට පිහිටුවන ලදී. 1966 අංක 10 දරණ සංචාරක මණ්ඩල පනතෙහි දක්වා ඇති පරිදි සංචාරක මණ්ඩලය පිලිටුවීමේ ප්‍රධන අරමුණ වන්නේ,
(අ) සංචාරක චාරිකා සඳහා අනුබල දීම, ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම. 
(ආ) ප්‍රමාණවත්, කාර්යක්‍ෂම හා ආකර්ශනීය සංචාරක පහසුකම් සඳහා අනුබල දීම, ප්‍රවර්ධනය කිරීම හා සංවර්ධනය කිරීම.
මෙම පනතේ මුලික අරමුණ වී ඇත්තේ සංචාරක ව්‍යාපාරය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙරට තුල ස්ථාපනය කිරීම වේ. නමුත් වැදගත් වන්නේ එකී සංවිධානය හේතු කොට ගෙන රටේ පවතින සංවර්ධන තත්වය නගා සිටිවිමට අවශ්‍ය වන්නාවූ සියලු ක්‍රියා මාර්ග ගැනීම වේ.
ඉන්පසු 1967 – 1976 දස අවුරුදු සංචාරක සැලැස්ම මගින් දීර්ඝ කාලින ලෙස සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා පියවර තබන ලදී.
(අ) ලංකාවට පැමිණෙන හා ලංකාව ඇතුලත ජාත්‍යන්තර චාරිකා හා සංචරණයේ උපරිම වර්ධනයක් ලගා කර දීම.
(ආ) ජාත්‍යන්තර සංචරණයේ අවශ්‍යතාවන්ට හා සංචාරක චිභාවතාවන්ට අනුරූපව සමස්ත ශ්‍රී ලංකාවේ ආකර්ෂණය හා අවස්ථාවන් මැනවින් යොදා ගත හැකි වන සේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම.
(ඇ) ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික යහසිද්ධියක් සැලසෙන අයුරු චාරිකා වෙළඳ පොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සැලසීම.
(ඈ) විදේශ අමුත්තන් හා දේශීය ප්‍රජාව අතර සමාජීය  අන්තර් සම්බන්ධත්වන් සඳහා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයන් සඳහා අතිරේක දේශීය චාරිකා හා ක්‍රීඩා පහසුකම් සැලසීම.
(ඉ) විදේශ විනිමය ඉතිරිකර විදෙස් මුදල් ඉපයීමේ නිෂ්පාදිත කර්මාන්තවල නව රැකියා අවස්ථා උදා කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම.
(ඊ) ශ්‍රී ලංකාවේ සමාජීය, සංස්කෘතික හා ඓතිහාසික පදනම නගා සිටුවමින් හා සංරක්ෂණය කරමින් එම පරමාර්ථයෙන් කුඨප්‍රාප්ත කිරීම.
මෙම දස වසර සැලැස්මේ දැක්වෙන කරුණුවලට අනුව රටේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය කළ යුතු අංශ පිලිබඳ අවධානය යොමු කර තිබේ.
තිරසාර සංවර්ධනය යනු රටක පවතින ස්වභාවික සම්පත් මතු පරපුරට ආරක්ෂා කරමින් ඒවා භාවිත කිරීම මගින් රටක් සංවර්ධනය කරා ගමන් කිරීමයි. විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධාන මුලාශ්‍රයක් හා රජයට මුදල් ලබා ගැනීමෙන් ආර්ථිකය සරු කර ගැනීමේ ප්‍රධන මුලාශ්‍රයක් බවට මෙය පත් වී තිබේ. මේ වන විට ද සංචාරක කර්මාන්තය වර්ධනය සඳහා පියවර ගෙන තිබෙන අතර ඒ මගින් රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට පෙළඹිය යුතු කාලය එළඹී තිබේ.
සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව ඕනෑම රටක් මානව වර්ගයා, ජාතියක්, භාෂාවක්,ආගමක්,සමාජයක්,දැනුම් ප්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමක් දක්වා පත් කිරීමයි.”
-          සර්. ආතර් ලුවිස්-



යනුවෙන් සංවර්ධනය යන්න විග්‍රහ කර තිබේ. රටක් හඳුන්වනු ලබන සංවර්ධන යන්න විග්‍රහ කර තිබේ. රටක් හඳුන්වනු ලබන සංවර්ධන ක්‍රියාදාමය සමාජයේ සුභදායි වෙනසක් විප්ලවයක් ඇති කරනු ලබයි. තවද මෙහි දැක්වෙන පරිදි සංවර්ධනය යන්න ආර්ථික සංවර්ධනයට පමණක් සිමා නොවූවකි. එනම් එය,


  • භෞතික සංවර්ධනය
  • අධ්‍යාත්මික සංවර්ධනය 

යනුවෙන් වර්ග කල හැකි වන අතර මෙම දෙපාර්ශවයේම සංවර්ධනය සාර්ථක සංවර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය. භෞතික සංවර්ධනය මුලික වශයෙන් ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, පාරිසරික සංවර්ධනය හා සෞඛ්‍ය සංවර්ධනය ලෙස වර්ගීකරණයට ලක් කල ද ආර්ථික සංවර්ධනය ඉන් ප්‍රධන වේ. මන්ද යත්, භෞතික සංවර්ධනයට අදාළ අනෙකුත් සංවර්ධන අංශයන්ගේ ක්‍රියාකාරිත්වය හා පදනම තීරණය වන්නේ ආර්ථික සංවර්ධනය මත වීම නිසාය. නමුත්, සංවර්ධනය යන්න ආර්ථික සංවර්ධනයට පමණක් සිමා නොවේ. එයට ආධ්‍යාත්මික සංවර්ධනය ද අත්‍යවශ්‍යය වේ. ආර්ථික සංවර්ධනයෙන් රට සංවර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන මුලාශ්‍රය ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දිය හැකිය. ලංකාව යනු ස්වභාවික සම්පත් හා කලා නිර්මාණයන්ගෙන් ස්වයං පෝෂිත රටකි. එකී සංස්කෘතික උරුමයන් පවතින රටේ කලාංගයන් පිලිබඳ වටිනාකමක් ඇති කිරීම මගින් සංචාරක ව්‍යාපාරය නව මානයක් කරා ගෙන යා හැකිය.
  • ස්පර්ශිත සංස්කෘතික උරුමයන් (Tangible cultural Resources)
  • අස්පර්ෂිත සංස්කෘතික උරුමයන් (Intangible cultural Resources)

යනුවෙන් සංස්කෘතික උරුමයන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ශනීය මධ්‍යස්ථානයක් වීම සඳහා බලපාන හේතු සාධක අතර, සංස්කෘතිය, ස්වභාවික සම්පත්, ජාතීන්ගේ විවිධත්වය යන අංග පෙන්වා දිය හැකිය. ස්පර්ශිත සංස්කෘතික උරුමයන් යනු මිනිසාට තම දෑතින් ස්පර්ශ කර සුන්දරත්වය දැනුම විඳ ගත හැකි සංස්කෘතික උරුමයන් වේ. මේ යටතට ගොඩනැගිලි, ස්මාරක, පොත්පත්, නිර්මාණ යන සියල්ල අයත් වේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිලි,ස්තුප, වෙහෙර විහාර, කැටයම් නිර්මාණ, මානව කෘතීන් යන සියල්ල ද ස්පර්ශිත සංස්කෘතික උරුමයන් වේ.
උදාහරණ වශයෙන් අනුරාධපුර පොළොන්නරු සිද්ධස්ථාන, සීගිරිය, ඇම්බැක්කේ ලී කැටයම්, පුස්කොළ පොත්, ඉසුරුමුණි පෙම් යුවල වැනි මිනිසාට ස්පර්ශ කර දැනුම ගත හැකි හා සුන්දරත්වය විඳ ගත හැකි උරුමයන් වේ. මෙම අස්පර්ෂිත සංස්කෘතික උරුමයන් යනු ජනශ්‍රැතිය, සම්ප්‍රධායන්,භාෂාවන්,දැනුම, ආකල්ප හා විශ්වාසයන් වේ. මෙම අස්පර්ෂිත සංස්කෘතිය නොකඩවා පරම්පරාවෙන් පරම්පරාවට දායාද වේ. අස්පර්ෂිත සංස්කෘතියේ ඇති ශක්තිමත් බව මත ස්පර්ශිත සංස්කෘතිය නිර්මාණය වී තිබීම හඳුනා ගත හැකිය. මෙකි සංස්කෘතික උරුමයන් හා සංචාරක ව්‍යාපාරය එකිනෙකට සම්බන්ධ කර ගැනීම මගින්,
  • එම සංස්කෘතික උරුමයන් ආරක්ෂා වීම හා නඩත්තුව සිදු වේ.
  • සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය හා රටේ සංවර්ධනය සිදු වීම 

යන අංශ දෙකම සංවර්ධනය වීම සිදු වේ. තවද මෙරට පවතින ස්වදේශික සංස්කෘතික උරුමයන් හා සංස්කෘතික ආකර්ෂණයන් පිළිබඳව සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම හරහා විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කල හැකිය. සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් හා නවාතැන් ගන්නා කාමර දේශීය සංස්කෘතිය හා දේශීය සෞන්දර්යාත්මක අගය පිළිඹිබු වන අයුරින් නිර්මාණය කිරීමටත්, දේශීය ආහාර පිළිබඳව විදේශිකයින් දැනුවත් කිරීම, ආයුර්වේදය හා එම ප්‍රතිකාර පිලිබඳ දැනුවත් කිරීම හා ඒ මගින් විදේශ විනිමය ලබා ගනිම සිදු කළ හැකිය.  ආර්ථික සංවර්ධනය කිරීම සඳහා මෙරට පවතින සංස්කෘතිය හා උරුමයන් ආරක්ෂා කර ගනිමින් එහි වටිනාකම හා අගය පිලිබඳ දේශීය හා විදේශීය සංචාරකයින්ට ලබා දිය යුතුය. රටක පවතින සංස්කෘතිය වෙනත් රටක විදේශිකයන්ට නව අත්දැකීමකි. එම අත්දැකීමේ පවතින සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කල යුතුය. 

එය තිරසාර සංවර්ධනයකි. තවද දේශීය කලාවන්වල පාරම්පරික උරුමය හා ඒ සඳහා හැකියාව පවතින තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා උරුම කර දීම සිදු කල යුතුය. එනම්, වෙස්මුහුණු, බතික්, පන් කර්මාන්තය, වැනි දේශීය සංස්කෘතියේ ගැබ් වී පවතින සංස්කෘතික උරුමයන් ශ්‍රී ලංකික තරුණයින් මගින් ප්‍රවර්ධනය කල යුතුය. ඒ සඳහා විදේශිකයින්ට අධ්‍යාපනය ලබා දීම හා විදේශිකයින් නවාතැන් ගන්නා ස්ථානවල එම කලාංගවලට යොමු වන පරිදි පරිසරය සකස් කර අමතර ලෙස විදේශ විනිමය උපයා ගැනීමටත් තරුණයින්ගේ රැකියා වියුක්තියට පිළියම් කිරීමටත් හැකියාව පවතී. එපමණක් නොව සංචාරක මගපෙන්වන්නන් සඳහා අත්දැකීමට එහා ගිය ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දීම මගින් විදේශිකයින්ට මෙරට පිලිබඳ විද්‍යාත්මක, සමාජීය, ආගමික හා සංස්කෘතික තොරතුරු රැසක් සම්ප්‍රේෂණය කිරීම කල හැකිය. සනුමෙන් සන්නද්ධ වන දේශීය මගපෙන්වන්නන් නිසා මෙරට විදේශ විනිමය ඉහල මට්ටමකට ලගා කර ගත හැකි අතර මෙරට සංස්කෘතිය ප්‍රවර්ධනය කල හැකිය.
මෙරට පවතින ස්වභාව සෞන්දර්ය විඳ ගත හැකි පරිදි හා ඒ පිලිබඳ දැනුම ලබා ගත හැකි නවතම සංකල්පයක් වන රූ දෙස සංචරණය (Eco Tourism) පෙන්වා දිය හැකිය. රූ දෙස සංචරණයේදී මුලධර්ම ලෙස පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධනය යොමු වී තිබේ.
1.       සංචරණයේදී ස්වභාවික පරිසරයට හා සංස්කෘතියට සිදු වන අයහපත් බලපෑම වලක්වා ගැනීම
2.  සංචාරක කර්මාන්තය ධරණිය තත්ත්ව යටතේ වර්ධනය කිරීම. (තිරසාර සංවර්ධනය)
3.      දේශීය නිෂ්පාදන භාවිතය අවධාරණය කිරීම හා ආර්ථිකය ප්‍රතිලාභ වැඩි ප්‍රතිශතයක් අදාල රට තුල රඳවා ගැනීම
4. පරිසර හිතකාමී ලෙස හා සංවේදී ලෙස තැනු සංචාරක යටුතල පහසුකම් භාවිතයට ගැනීම. උදා- පාරිසරික නවාතැන්
මෙහි දැක්වෙන කරුණු මගින් පෙනී යන්නේ සංවර්ධන ක්‍රියාදාමය හා ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම රටේ පවතින සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට සංචාරක ව්‍යාපාරය වැදගත් බවය.



 මෙරට දේශීය නිෂ්පාදන පමණක් මෙරට තුලදී භාවිතයට නෛතික වශයෙන් කටයුතු කිරීම මගින් දේශීය දේ භාවිතයට හා දේශීය සංස්කෘතිය වර්ධනයට අවකාශය හිමි වේ. තවද විදේශිකයින් සඳහා අත්කම් වෙළඳාම හා ඒවා නිර්මාණය සඳහා විදේශිකයින් පෙළඹවීම ද කිරීම මගින් විදේශ විනිමය හා රටක සංස්කෘතික හා ආර්ථික සංවර්ධනය ලගා කර ගත හැකිය.  එපමණක් නොව විදේශීය දේශීය සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා නවාතැන් පහසුකම්වල සිටින වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත තම සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකට සංචාරකයා හුරු කල හැකිය. නිරතුරුවම අවිවේකි ජිවිතයක් ගත කරනු ලබන සංචාරකයා තම සංචාරය තුලදී තම සෞඛ්‍ය කෙරේ ආකල්පයක් ඇති කිරීමට පෙළඹීම මගින් පුද්ගල සෞඛ්‍ය සංවර්ධනය ඉහල මට්ටමකට ලගා කර ගත හැකිය. ලෙඩ රෝග සඳහා ශ්‍රී ලංකාවට විශේෂිත නිල ප්‍රතිකාර හා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිලිබඳ සංචාරකයා දැනුවත් කල හැකි අතර ඒ සඳහා සංචාරකයා යොමු කිරීම මගින් මෙරට පවතින වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විදේශීය ජනතාව තුල යහපත් ආකල්පයන් ඇති කිරීමට මෙන්ම ඒ මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම විදේශීය විනිමය ලබා ගැනීමටත් ආර්ථික සංවර්ධනය ද උදා කර ගත හැකිය. සංචාරක ව්‍යාපාරය යනු ඈත අතීතයේ සිටම පුද්ගල අවශ්‍යතා මත නිර්මාණය වී පවතින සංකල්පයක් වන අතර මෙම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම මගින් රටේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට මෙරට සංස්කෘතියේ හා උරුමයේ කොටස්කරුවන් වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි. 

ඈ බාදුරවකි....

නෙත් යදින බැල්මක  සගවාන මත්බව පහසක  වතිර ගමි තව තවත් ලංව  බාදුරාවක් බව දැන දැනම...